මැජික් කන්නාඩි
[ලංකාවටත් සුරංගනා කතා ඕන කියලා හිතුන නිසා “සින්ඩරෙල්ලා”, “ලිට්ල් රෙඩ් රයිඩිංහුඩ්”, “පීටර් පෑන්” වගේ චරිත වෙනුවට අපේ චරිත වලින් මේ කතාව ලිව්වේ]
සිරිසේන එයාගේ පවුලේ අයත් එක්ක ජීවත්වුනේ මහ දිසාවගෙ පොල් ඉඩමේ කොනේ හදපු පොඩි පැලක. ඒ පැල සිරිසේනට ලැබුනේ මහ දිසාවගෙ බංගලාවෙයි ඉඩමෙයි මුරකාරයා හැටියට බැඳුන දවසේ. අවුරුදු පහක් විතර ගෙදර තනියම ජීවත්වුන සිරිසේන ඊට පස්සේ සීලවතී ගෙදරට කැන්ඳන් ආවා. සිරිසේනටයි සීලවතීටයි ළමයි දෙන්නෙක් ඉන්නවා. අට හැවිරිදි කමලා දැන් ඉස්කෝලේ යනවා; පස් හැවිරිදි විජේපාලත් එන අවුරුද්දේ යන්න ඉන්නේ.
දුප්පත් වුනාට මේ පවුලේ අය බොහොම සන්තෝසෙන් ජීවත්වුනේ. සිරිසේනයි සීලවතියි දෙන්නම සිංදු, කවි, කතාන්දර එහෙම කියන්න හරිම දක්ෂයි. ළමයි දෙන්නත් කතා අහන්නයි සිංදු කියන්නයි හරිම ආසයි. මේ ගෙදරින් රෑ දවල් ඇහුනේ සිංදු කියන සද්දේ නැත්නම් ළමයි හිනාවෙන සද්දේ.
සිරිසේන වැඩට ගියේ රෑ වෙලා. ආයෙ ගෙදර ආවේ උදේ එලිය වැටෙනකොට. සීලවතී උදේ වරුවේ මහ දිසාවගෙ බංගලාවේ කුස්සියේ වැඩ කරන්න ගියේ ඉස්කෝලේ යන දුවත් එක්ක. උදේ වරුවේ විජේපාල බලාගත්තේ සිරිසේන. ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවම කමලත් ගෙදර වැඩට එකතුවුනා. ගෙදරදොරේ වැඩ සමසමව බෙදාගෙන කෙරුන නිසාදෝ මේ ගෙදර ඒ ගැන වාද විවාද ඇතිවුනේ නෑ.
අද හවස් වරුවේ පවුලේ හතරදෙනාම ඉස්තෝප්පුවේ වාඩිවෙලා කතාබහ කරමින් හිටියේ හෙටට යෙදී තියෙන විශේෂ කාර්‍ය ගැනයි - හෙට හතර දෙනාටම අලුත් ඇස් කන්නාඩි ලැබෙන දවස! සිරිසේනගෙ පවුලේ හමෝටම, හැම අවුරුද්දෙම නොමිලේ අලුත් ඇස් කන්නාඩි ලැබෙනවා මහ දිසාවගෙ බංගලාවෙන්. හතරදෙනාගෙම කන්නාඩි එකම හැඩේ, එකම පාට; ලොකු/පොඩි අතින් විතරයි වෙනස් වුනේ.
පවුලේ අය අලුත් කන්නාඩි ගැන කතා කර කර ඉන්න වෙලාවේ සිරිසේන දැක්කා මීට ඉස්සර කවදාවත් දැකලා නැති වයසක මිනිහෙක් හෙමින් හෙමින් මිදුලට ගොඩවදිනවා. සුදු සරමකුත් බැනියමකුත් ඇඳ හිටි මිනිහගෙ එක අතක හැරමිටියකුත් අනික් අතේ ලොකු සුදු ලේන්සුවකුත් තිබුනා. සිරිසේන දිහා බලපු මිනිහා කට පුරා හිනාවුනා.
“ආයුබෝවන්!”
සිරිසේන මඩුවෙන් මිදුලට බැහැලා අමුත්තට අත් දෙක එකතුකරලා ‘ආයුබෝවන් නිලමේ’ කියලා ආචාර කරා. බැලූ බැල්මට සිරිසේනට පෙනෙනවා මේ අමුත්තා වැදගත් කෙනෙක් බව.
“නිලමේ බෑරක්? බංගලාව දිහාට යනවා නම් අර වැට අයිනෙන් කෙලින්ම ගියොත් හරි”
“නෑ නෑ… මම මේ ටිකක් ඇවිදලා මහන්සියට මිදුලට ගොඩවැදුනේ… කොහෙවත් යන ගමනක් නෙවෙයි”
“නිලමේ ඉතින් ඇයි පොඩ්ඩක් වාඩිවෙලා මහන්සි අරින්නෙ නැත්තේ?...කමලා කෙල්ලේ අර කලෙන් වතුර ටිකක් මේ නිලමෙට… විජේ පුතා ඔය බංකුව…”
සිරිසේන අමුත්තගෙ ඕනෑ එපාකම් සපුරන්න අවශ්‍ය දේ පිළිවෙල කරනකොට සීලවතී ගේ ඇතුලට ගියේ කේතලේ ලිපේ තියන්න බව පවුලේ අය විතරක් නෙවෙයි අමුත්තත් තේරුම් ගත්තා.
“කරදර වෙන්න එපා - මට බොන්න ඇල් වතුර උගුරක් තිබුනොත් ඇති”
මෙහෙම කියලා අමුත්තා පිලේ වාඩිවුනා. සිරිසේන කොයි තරම් බංකුවේ වාඩිවෙන්න ආරාධනා කරත් අමුත්තා කිව්වේ ‘මට මේ හොඳටම ඇති’ කියලා විතරයි.
වතුර බීමෙන් පස්සේ අමුත්තා කමලට ස්තුති කරලා සිරිසේනයි සීලවතියි ඇමතුවා.
“මම මේ පලාතේ කෙනෙක් නෙවෙයි… ගමෙන් ගමට ඇවිදලා පුළුවන් තරම් මිනිස්සු හඳුනාගන්න එක තමා දැන් මගෙ වයසට තියෙන ලොකුම සතුට. අදත් උදේ ඉඳන් ගමනේ… හුඟාක් අයත් එක්ක කතා කරා…”
“නිලමේ ආගමකට සම්බන්ධද? නැත්තං පත්තරේට ලියනවද? නැත්තං පොත් ලියන කෙනෙක්ද?... ඇහුවට තරහ වෙන්න එපා…”
“අපෝ නෑ… ඒ එකක්වත් නෙවෙයි. හ්ම්… සමහරවිට මම ගුරුවරයෙක් කියලා හිතන්න පුළුවන්… ඒ කියන්නේ, සමහර අයට නොපෙනෙන දේ පෙනෙන්න සලසන්න මට පුළුවන්…“
ඒ සැරේ පවුලේ ඔක්කොම අමුත්තගෙ වචනෙට හොඳින් කන් දෙනවා. සිරිසේන ප්‍රශ්නයක් ඇහුවා.
“නොපෙනෙන දේ පෙන්නනවා කියන්නේ?”
අමුත්තා වටපිට බලලා මිදුල අයිනේ පොල් ගහේ මුදුනේ එල්ලිලා තියෙන පොල් ඉත්තට ඇඟිල්ල දිගුකරා.
“අර පොල් ඉත්තේ ගෙඩි කීයක් පේනවද? දෙමව්පියෝ උත්තර දුන්නොත් ඇති”
ලොකු දෙන්නා මිදුලට බැහැලා පරෙස්සමෙන් ඉත්තේ ගෙඩි ගැණ්නා. දෙන්නටම ගෙඩි 14ක් ගණන් කරන්න පුළුවන් වුනා.
”දැන් කන්නාඩි ගලවලා ආයෙත් ගණන් කරලා බලන්න”
ආයෙත් උත්තරේ 14 බව දෙන්නම කීවා. අමුත්තා ඊලඟට තව පොල් ඉති තුනක ගෙඩි මේ විදිහට ගණන් කරවා ගත්තා. ලැබුන උත්තර එක වගේමයි. අමුත්තා ඒ සැරේ වෙන ප්‍රශ්නයක් ඇහුවා.
“ඉස්සරවෙලා නොදැකපු දෙයක් දැන් පෙනෙනවද?”
තුන් දෙනා මුහුණෙන් මුහුණ බැලුවේ කිසි වෙනසක් නොදුටු නිසා. අන්තිමට සිරිසේන උත්තර දුන්නේ හිතේ කනගාටුවෙන්; තමාගෙ උත්තරේ අමුත්තට අපහාසයක් වෙයි කියන බයට.
“කිව්වට මොකද නිලමේ… මට නම් නොදැකපු දෙයක් පෙනුනෙ නෑ… ආයෙත් කරලා බලමුද?”
අමුත්තා හිනාවුනා.
“නෑ නෑ… දුන්න උත්තර සේරම හරි! හැබැයි ඔය දෙන්නා නොදැකපු දේ මොකද්ද දන්නවද?”
“… නෑ…”
“මේ අයට කන්නාඩි ඕන නෑ!”
ඒ සැරේ පවුලේ අය එකවර කතා කරන්න පටන් ගත්තේ තම තමාගෙ කන්නාඩි ගලවමින්. නමුත් අමුත්තා අත උස්සලා සේරම නිහඬ කරා.
“ටිකක් ඉන්න… මගෙ පාඩම තවම ඉවර නෑ! පවුලේ අය කන්නාඩි නොදා සතියක් ගත කරන්න කැමති නම් මට පුළුවන් තවත් හුඟාක් දේ කියලා දෙන්න. මම එන සතියේ මේ වෙලාවටම එනවා, එතෙක් කන්නාඩි නොදා ඉන්න කැමති නම්… කැමතිද?”
…………………………………….
සතියකට පස්සේ ‘අමුත්තා එන දවසේ’ සිරිසේන සීලවතියි දරුවොයි එක්ක පාර දිහා බලාගෙන හිටියේ පසුගිය සතියේ තමා ‘අලුතෙන් දුටු’ දේ ගැන කතා කරන්න ඉවසිල්ලක් නැතුව. ගෙදරත් ගිය සතියේ නොතිබූ වෙනස් දෙකක් අද පැහැදිළිව පෙනෙන්න තිබුනා. කනප්පුවක් උඩ ලෑස්ති කර තිබුන තේ පැන් සංග්‍රහය මෙයින් එකක්; අනික - කිසි කෙනෙක් කන්නාඩි දාගෙන නොසිටීම.
අමුත්තා ආවේ එදා වෙලාවටම, එදා වගේ ඇඳුමින්ම සැරසිලා. බංකුව උඩ වාඩිවී සීලවතී දුන් අග්ගලයයි තේ කෝප්පෙයි අතට අරගෙනයි කාතාව පටන්ගත්තේ.
“මං හිතන්නේ පොඩි පුතාගෙන් ප්‍රශ්න අහන එක හරි නෑ නමුත් දුව ඉස්සරවෙලාම කියනවද මේ සතියේ ඉස්කෝලේ වෙනසක් දැක්කද කියලා?”
කමලා කතා කරේ බිම බලාගෙන.
“වැඩිය වෙනස් නෑ… ඉගෙනගත්තේ වෙනදා වගේමයි… හැබැයි පංතියේ නෝන මහත්තයා වෙනදා වගේ මගෙ වැරදි හෙව්වෙ නෑ… මීට ඉස්සර හැමදාම වගේ මගෙ වැරදිමයි දැක්කේ… පුදුමෙට වගේ කවුරුත් ඇහුවෙත් නෑ කන්නාඩිය නැති එක ගැන!”
“හොඳ ළමයා… දැන් අම්මා කියයි අම්මගෙ සතිය ගැන…?”
“කිව්වට මොකද නිලමේ මගෙ සතිය ඒකේ අනික් පැත්ත! දුවට නෝන මහත්තයා හොඳට සැලකුවට මහ දිසාවගෙ මැනිකෙයි, පොඩි බේබිලයි මගෙ වැරදිමයි දැක්කේ! බැනුම් එහෙමත් ඇහුවා… කාරෙක එලවන අන්දිරිස් ගෙනුත්!”
සීලවතීගෙ ඇස්වලට කඳුළු එනවා දැකලා සිරිසේන සීලවතීගෙ උරහිසට හෙමින් තට්ටු කරලා කතාව පටන් ගත්තේ අමුත්තා අහන්නත් ඉස්සර.
“හරි වැඩේ! මටත් ඒකමයි වුනේ නිලමේ! මහ දිසා හාමුදුරුවෝ විතරක් නෙවෙයි පොඩි මහත්තයත් මට කෑ ගැහුවා… මම හරියට මුර වැඩේ නොකර නිදාගත්තා කියලා බැන්නා! … වෙනදා කවදාවත් එහෙම නෑ! මට හරිම කැමතියි, එහෙ වැඩ පටන්ගත්ත දා ඉඳන්. අනේ මන්දා මොන නස්පැත්තියක්ද කියලා - අවුරුදු පහලොහක් වැඩ කරපු තැන… මට මේ ගේපැල අටවාගන්නත් දුන්නා… මගෙ යුනිපෝම් විතරක් නෙවෙයි අපෙ පවුලටම කන්නාඩි එහෙමත් දුන්නේ නොමිලේ!”
“මහ දිසාව හරි ගාම්භීර කඩවසම් මිනිහෙක් නේද?”
සිරිසේන එක සැරේම කතා කරේ නෑ. මුහුණේ ව්‍යාකූල බවක් පෙනෙන්න තිබුනා.
“… එහෙම තමා මං හැමදාම හිතුවේ… හැබැයි අර විශාල බන්ඩි ගෙඩිය, මූණේ පැල්ලම්, වපර ඇහැ එහෙම දැක්කේ මේ සතියේ… නිලමේ මට… අපිට මොකවත් කෙමක් වත් කරාද?”
සීලවතිත් කතා කරේ කල්පනාවෙන්.
“හැබෑට… ලොකු නෝනා වෙනදා වගේ සුවඳ පව්ඩර් එහෙම දාලා හිටියෙ නෑ … කිව්වහම මොකද ටිකක් දාඩිය ගඳ… කකුලේ නියපොතු කපලා පාට කරලා තිබුනෙත් නෑ…”
සිරිසේන කතා කරේ ටිකක් හිතේ අමාරුවෙන්.
“නිලමේ… අපිට කරපු හිංසාව … මේ ඇන්නෑව කරුණා කරලා අයින් කරලා දානවද? අපි මොකද්ද නිලමෙට කරපු වැරැද්ද? මොකද්ද අපෙ මොලේට කරේ?”
සීලවතිත් කතා කරා.
“ඔව් නිලමේ… මේ විදිහට ආයෙ වැඩට යන්නේ කොහොමද? අනික… සිරිසේනට රස්සාව නැතිවුනොත් අපිට මේ පැලත් නැතිවෙයි … පොඩි එවුන් එක්ක අපි පාරට බහින්න තමා වෙන්නේ…”
අමුත්තා කත කරේ සාන්තුවරයෙක් වගේ පැහැදිළි සනසන වචනෙන්.
“ගුරුවරයෙක් හැටියට මට හරිම සන්තෝසයි මේ අය දැකපු දේ ගැන…, විස්වාස කරන්න… ඔය ඇස් කන්නාඩි නැතුව, තමංගෙ ඇස් දෙකෙන්ම දකින දේ තමා ඇත්ත. දැන් අවුරුදු ගණනක් ඔය ඇස් කන්නාඩි මේ අයව රවටාගෙන ඉඳලා තියෙන්නේ. මේකේ ඇත්ත නැත්ත කියලා දෙන්න ඉස්සර මගෙ ප්‍රශ්න කීපෙකට උත්තර දෙනවද?”
කවුරුත් යමක් කියන්නත් ඉස්සර අමුත්තා කතා කරන්න පටන්ගත්තා.
“මේ ඇස් කන්නාඩි මෙයාට දුන්නේ වැඩ පටන්ගත්ත දවසෙම නේද? දුන්නේ මහ දිසාවම නෙවෙයි නේද?”
සිරිසේන මේවා හරි බව හිසෙන් කීවා.
“කන්නාඩි නැතුව මහ දිසාව මීට ඉස්සර දැකලා නෑ නේද?”
ආයෙත් සිරිසේන් එකඟවුනා. ඊලඟ ප්‍රශ්නේ සීලවතීට.
“කන්නාඩි ලැබෙන්න ඉස්සර ලොකු මැනිකේවත්, ගෙදර දරුවෝවත්, බංගලාවේ දිගටම වැඩකරන කිසි කෙනෙක්වත් දැකලා තිබුනද?”
“… නෑ… අර ගේට්ටුවේ ගෙදර කට්ටිය තමා මට වැඩට අඳින රෙද්ද හැට්ටෙයි, කන්නාඩියයි, කොන්ඩ කූරුයි දුන්නේ… තවමත් ගේට්ටුවේ ගෙදර තමා මං ඇඳුම් මාරු කරන්නේ…”
සිරිසේනත් කතා කරේ සීලවතීට සහයට.
“මටත් ගේට්ටුවේ ගෙදරින් තමා ඒවා ලැබුනේ… තවමත් යුනිපෝම් අඳින්නේ එතෙන්ට ගිහින්”
“ආයෙ අහන්නේ එක ප්‍රශ්නයයි… ගිය සතියේ බංගලාවේ කට්ටියගෙ වෙනසක් දැක්කා වගේම පලාතේ අනික් අයගෙත් වෙනස් දැක්කද?”
සිරිසේන වහාම උත්තර දුන්නා.
“වෙනදා වගේ නෙවෙයි හුඟාක් අය අපෙ වගේම කන්නාඩි දාගෙන හිටියා… කවදාවත් කන්නාඩි නොදාපු ඈයෝ!”
සීලවතියි කමල්යි දෙන්නත් එකඟවුනේ පුදුමෙන් වගේ. පවුලේ අයට වැටහෙනවා මෙතන ලොකු අභිරහසක් ඇති බව නමුත් අමුත්තා කතා කරන තුරු කිසි දෙයක් කිව්වෙ නෑ.
“මං ඔය ජාතියේ ඇස් කන්නාඩි දැකලා තියෙනවා මීට ඉස්සර… වෙන රටක. ඒකයි ඒවා හඳුනගන්න ලේසිවුනේ”
අමුත්තා මෙතෙක් අමතකවෙලා තිබුන කෝප්පෙන් තේ උගුරක් බිව්වේ අග්ගලා කෑල්ලකුත් කාලා. කතා කරන්න පටන්ගත්තේ ලොකු හුස්මක් අරගෙන.
“දැන් හිතලා බැලුවොත් මේ කතාවට ගෑවෙන අය ගැන… මැදටම තියෙන්නේ බංගලාව. පලාතේ ලොකුම බලපුළුවන්කාරයෝ ඉන්නේ බංගලාවේ. පලාතේ ඉන්න ලොකුම සල්ලි කාරයෝ - ඉඩම් හිමියෝ. හරි නේද?”
“බංගලාව ආරක්ෂා කරන්නේ ගේට්ටුවේ ගෙදරින්, මේ රටේ තියෙන ප්‍රබලම ආයුධය පාවිච්චි කරලා. මැජික් කන්නාඩිය! ඒ කන්නාඩි දාපුවම බංගලාව හරියට යහපත්, රූපසම්පන්න දෙවියෝ ජීවත්වෙන දිවියලෝකයක් වගේ පෙනෙන්නේ… ගේට්ටුවේ ගෙදර නීති අනුව බංගලාවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් මැජික් කන්නාඩි දාන අයට විතරයි”
“ඒ කන්නාඩි දෙවිදිහකට වැඩ කරනවා. එක - බංගලාව දිවියලෝකයක් වගේ පෙන්වන්න. දෙක - කන්නාඩි දාන පවුලකට අනික් පවුල්වල අයත් කන්නාඩි දාන බව පෙනෙන්නෙ නෑ. පලාතේ හුඟක් දෙනෙක් ඒ විදිහට පාලනය වෙනවා. එහෙමයි බංගලාවට ආරක්ෂාව සපයන්නේ…”
“ඊ ලඟ ප්‍රශ්න දෙක: කාගෙන් ආරක්ෂා වෙන්නද මේ තරම් මහන්සි වෙන්නේ? ඇයි එහෙම කරන්නේ?”
ආයෙත් තේ උගුරක්.
“මේ පවුලේ අයගෙන් ආරක්ෂා වෙන්න! මේ පවුලේ අයගෙන්, මේ පලාතේ අයගෙන්… මේ රටේ අයගෙන් ආරක්ෂා වෙන්න! ඒකයි මේ කන්නාඩි පාවිච්චි කරන්නේ… ඊලඟ ප්‍රශ්නේ - ඇයි මේ තරම් ආරක්ෂා? ලේසි ප්‍රශ්නේ - බංගලාවේ අයගෙ සැබෑ ලක්ෂණ ඇත්ත ඇති හටියට ලෝකෙට නොපෙන්වන්න!”
අමුත්තා තව තේ උගුරක් බීලා කෝප්පේ බිම තියලා ආයෙත් කතාව පටන් ගත්තේ.
“මහ දිසාව බංගලාවේ ඉන්නේ මහා හොරු රැලක්… රටේ මීට ඉස්සර කවදාවත් අහලාවත් නොතිබුන තරම් භයානක, මිනීමරු මැරයෝ ගොන්නක්. රට වටේ හැම තැනම මැරකම් හොරකම් කරලා ඉන්නේ. දැන් ඔය අවංක, දැහැමි රටවැසියෝ වගේ ජීවත්වෙන්නේ ගේට්ටු ගෙදර ‘මැජික්’ කන්නාඩි වල උදව්වෙන්. ගේට්ටු කාරයෝ නිසා තමා ඒ හොර මැර ගැන හුඟාක් රටේ මිනිස්සු නොදන්නේ… ඒ ගැන හෝඩුවාවක් වත් දන්නේ මෙහෙ ඉස්කෝලේ අය - නමුත් ඒ අයට කිසි දෙයක් කරන්න බෑ - බංගලාවයි ගේටුවයි බලවත් වැඩියි…”
සිරිසේනට තියෙන ප්‍රශ්නය පැහැදිලියි.
“ඔය කතාව ඇත්තනම් ඇයි පොලිසිය… නැත්තම් හමුදා යමක් කරන්නෙ නැත්තේ?”
“හොඳ ප්‍රශ්නේ - ඇත්තටම මෙහෙම අපරාධ කාරයන්ට දඩුවම් දෙන්න පොලිසිය වගේ අයට පුළුවන් වෙන්න ඕනෑ…. නමුත් ඒ වගේ ආයතනවලත් ලොක්කෝ කීප දෙනෙක් බංගලාවෙන් පාලනය වුනොත් ඒ විසඳුමත් වැඩ කරලා හමාරයි, මොකද පහත් ශ්‍රේණි අණ ගන්නේ ඒ ලොක්කන්ගෙන් නිසා… නෑ අපිට ඊට වඩා ලොකු, ඊට වඩා බලවත් ‘හමුදාවක්’ ඕනෑ බංගලාව දමනය කරන්න…”
“කොහෙන්ද නිලමේ පොලිසියට එහෙම වඩා බලවත් හමුදාවක් හොයන්නේ?”
අමුත්තා හිනාවුනා.
“ඔබලා වගේ පලාතේ සාමාන්‍ය අය… රටේම සාමාන්‍ය ජනතාව! මහජනයා ඔය මැජික් කන්නාඩි ගලවලා දැම්මොත් බංගලාව වැඩිකල් පවතින්නෙ නෑ! මේ දුවගෙ ඉස්කෝලේ නෝනමහත්තයට එහෙම මේක තේරෙනවා. ඒ වගේ අය තමා මේකේ ඉස්සරහින් ඉන්න ඕනෑ. මේ පවුලේ අයටත් දැන් තේරෙනවා නේද මැජික් කන්නාඩි වලින් පෙනුන ලෝකේ ඇත්ත එක නෙවෙයි කියලා? අපි දිගටම කන්නාඩිය දාගෙන හිටියොත් අපිට දැනෙන්නෙම නැතුව හොර මැරයෝ රජ වෙනවා! ඒක වෙනවා වෙනවාමයි!”
මේ අන්තිම වාක්‍ය කියවුනේ ටිකක් සැරෙන්. සිරිසේනට දැනෙනවා මේ බංකුවේ වාඩිවෙලා අග්ගලා කමින් තේ බිව්ව අමුත්තා රට තොට ගැන දන්න, කැක්කුමක් තියෙන කෙනෙක් කියලා.
“නිලමේ කිව්වා මේ වගේ කන්නාඩි දැකලා තියෙනවා වෙන රටක කියලා… ඒවත් වැඩ කරේ මේවා වගේද?”
“මැජික් ඇස් කන්නාඩි එක එක මෝස්තරේට තියෙනවා, එක එක බංගලාවේ හැටියට. මං දැක්කා කියපු රටේ බංගලාව හැටියට තිබුනේ රටේ ආන්ඩුව. එහෙත් ආන්ඩුවට කිට්ටුවෙන් හිටපු කල්ලියක් මෙහෙ ගේට්ටුවේ ගෙදර වගේම රස්සාවක් කරේ… හැබැයි එහෙ කන්නාඩි වෙනුවට පාවිච්චිවුනේ ප්‍රවෘති පත් තර, රේඩියෝ, රූපවාහිනී වගේ මාධ්‍ය… ඒවගෙමුත් කළේ හොරු සුද්ධ කරලා ආරක්ෂා කරන එකමයි!”